අනගාරික ධර්මපාලතුමා ඇරැඹූ අරගලයේ අප්‍රකට තොරතුරු

අනගාරික ධර්මපාලතුමා ඇරැඹූ අරගලයේ අප්‍රකට තොරතුරු

SHARE

ana-700053අනගාරික ධර්මපාලතුමාගේ 152 වන ගුණසමරුව වෙනුවෙන් මෙම ලිපිය පළවේ.

මම එහි සිටි හින්දු පූජකයාගෙන් (මහන්තා) මෙම අති පූජනීය බෝධි වෘක්‍ෂයෙන් පත්‍රයක්‌ කඩා ගන්නදැයි විමසූ විට ඔහු කීවේ ‘සභිවේ (මහත්මයා) ඔබට ඕනෑ තරම් කඩා ගන්න, අපට එවා කිසිම වැදගැම්මක්‌ නැත ‘ යනුවෙනි. මෙම නොසැලකිලිමත්කම ගැන ලඡ්ජාවට පත්වූවා .

භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය ලද භාරතයේ බිහාර් ප්‍රාන්තයේ ගයා දිස්‌ත්‍රික්‌කයේ පිහිටි බුද්ධගයා මහා විහාරය අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාවේ භික්‌ෂූන් වහන්සේ සහ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍ර විය. සංඝමිත්තා තෙරණිය, ක්‍රි.පූ. 3 වැනි සියවස දේවානම්පියතිස්‌ස රාජ්‍ය සමයෙහි සිය සොහොයුරු මිහිඳු මහරහතන් වහන්සේගේ ඉල්ලීම පරිදි බුද්ධගයාවෙන් ශ්‍රී මහා බෝධි දක්‍ෂිණ ශාඛාවක්‌ මෙහි වැඩම කරවූහ.

බෝධීන් වහන්සේ අනුරාධපුර මහාමේඝ මහ පූජා භූමියේ රෝපණය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ භික්‌ෂූන් වහන්සේට සහ සැදැහැවතුන්ට ගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට අභිලාෂයක්‌ ඇති වූහ.

එසේ වන්දනාව සඳහා ගමන් කළ මාර්ගය ක්‍රි.ව. 14 වැනි සියවස අනුරාධපුර වේදේහ නම් භික්‌ෂූන් වහන්සේ අනුරාධපුර මහා විහාරවාසී ගුත්තක පිරිවෙනෙහි වැඩ විසූ රට්‌ඨපාල නමැති හිමිනමක්‌ පාලියට පරිවර්තනයක්‌ සැකසූ සහස්‌සවත්ථුප්පකරණය අනුසාරයෙන් සිංහලයෙන් සැකසූ රසවාහිනියේ (2 වැනි පුස්‌තකය, පිටු 124 – 128) මෙසේ සඳහන් වේ.

අනුරාධපුර සිට කොට්‌ටපත්තන (වර්තමාන යාපනයේ සම්බල්තුරෙයි) දක්‌වා සද්ධර්මාලංකාරයට අනුව එම තොටුපොල පාමතු – පටුන්ගම දක්‌වා පියවි ගමනින් මාස සතරක්‌ද එතැන් සිට මුහුදු යාත්‍රාවකින් පරතිර දක්‌වා (එනම් එකල කාලිංග දේශයේ, වර්තමාන ඔරිස්‌සාවේ තොටුපොල වන භුවනේෂ්වර දක්‌වා මාස දෙකක්‌ ද එතැන් සිට පියවි ගමනින් බුද්ධගයාව දක්‌වා මාස සතරක්‌ ද ලෙස දල වශයෙන් එම වන්දනා ගමනට මාස දහයක්‌ හෝ එකොළහක්‌ පමණ ගතවන්නට ඇත.

එම ගමන් මාර්ගයේ අනුරාධපුර සිට බුද්ධගයාවට (කීර්ති ශ්‍රී මේඝවර්ණ රජදවස ) වැඩම කළ භික්‌ෂූන් වහන්සේ පිරිසකට එකල බුද්ධගයාවේ වැඩ විසීමට එහි තිබූ ආරාමයන්හි අවකාශ නොලැබිණි.

නැවත දිවයිනට වැඩි එම හිමිවරු ශ්‍රී මේඝවර්ණ රජුට තමන්ට සිදු වූ එම හිරිහැරය සැළකරන ලදී.

රජතුමා තෑගි බෝග සමඟ දූත පිරිසක්‌ භාරතයේ සමුද්‍රගුප්ත රජු වෙත (ක්‍රි.ව. 335- 376 ) යවා අවසරය ලබාගෙන බුද්ධගයාවේ සිව්මහල් සිංහල සංඝාරාමයක්‌ තනවන ලදී.

චීන ලේඛනයක එම සිද්ධිය සඳහන් වන අතර, බුද්ධගයා මහා විහාරයේ ගල් වැටේ එම විහාරය තැනීම ගැන ගුප්ත සමයේ බ්‍රාහ්මී අක්‌ෂරයෙන් සඳහන් කර ඇත.

එමෙන්ම එම ගල්වැටේ ශ්‍රී ලංකාවෙන් බුද්ධගයාවට පැමිණි භික්‌ෂූන් වහන්සේලාගේ නාමලේඛන තුනක්‌ ගුප්ත යුගයට අයත් බ්‍රාහ්මී අක්‌ෂරයෙන් සටහන් කර ඇත.

එම සෙල් ලිපි පවසනුයේ වන්දනාවෙ වැඩි හිමිවරු ශ්‍රී ලංකාවේ උපන් සිංහල භික්‌ෂූන් වහන්සේලා යනුවෙනි. තවද අනුරාධපුර යුගයේ (ක්‍රි.ව. 412 – 434 ) සපැමිණි භදංතාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ශ්‍රී ලංකාවේ අනුරාධපුර මහා විහාරයට වැඩම කර එහිදී මහා විහාරයේ බුද්ධදත්ත හිමියන්ගෙන් සිංහලයෙන් රචිත මහා අත්ථපකථා මහා පච්චාරි සහ කුරුන්දි, අධ්‍යයන කර පසුව සිංහල භාෂාමය අට්‌ඨකථා විශාල සංඛ්‍යාවක්‌ පාලියට නඟන ලද අතර, විසුද්ධිමග්ග නමැති ග්‍රන්ථය සකසන ලදී.

ක්‍රි.පූ. තෙවැනි සියවස සිට ශ්‍රී ලංකාව සහ බුද්ධගයාව අතර සුවිශේෂී සම්බන්ධතාවක්‌ තිබුණි. එනමුත් ක්‍රි.ව. 12 වැනි සියවස පමණ හින්දුධර්මය , බොදුදහම අභිබවා රාජ්‍ය අනුග්‍රහය යටතේ ප්‍රචලිත වූ බැවින් බුද්ධගයාවද ‘මහන්තා’ නමැති හින්දු පූජක පරපුරක පාලනයට යටත්ව, මහා විහාරය අසල හින්දු දෙවොලද තනා (දැනුදු ඇත) මහා විහාරයේ බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ශිවලිංගයක්‌ද තැන්පත් කර බුද්ධගයා විහාරය හින්දු පුදබිමක්‌ බවට පත්කර ගන්නා ලදී.

ශ්‍රීමත් එඩ්වින් ආර්නල්ඩ් තුමා (1832 – 1904) ඉන්දියාවට පැමිණ අවුරුදු 12ක්‌ , (1848 – 1860) දක්‌වා පූනාවේ රාජ්‍ය විද්‍යාලයේ විදුහල්පති ලෙස කටයුතු කළහ.

එම කාලය තුළ ඔහු සංස්‌කෘත භාෂාව ගැන හසළ දැනුමක්‌ ලබාගෙන පසුව එංගලන්තයේ ‘ඩේලි ටෙලිග්‍රාප්’ පුවත්පතේ කර්තෘ තනතුරට පත්විය.

ආර්නෝල්ඩ්තුමා එංගලන්තයේදී 1861, ඉන්දියානු සංස්‌කෘත ග්‍රන්ථයක්‌ වූ හිතෝපදේශය (රජෙකුට තිබිය යුතු දැනුම) ඉංග්‍රීසියටම පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී.

ඉක්‌බිතිව ශාසනාලංකාර කවිධජ විනයාචාර්ය වැලිගම ශ්‍රී සුමංගල නාහිමියන් (1825 – 1905) 1878 දී හිතෝපදේශය සිංහලයට පරිවර්තනය කර ප්‍රසිද්ධ කරන ලදී.

උන්වහන්සේ ආර්නෝල්ඩ් තුමා ඉංගී්‍රසියෙන් රචිත ආසියාවේ ආලෝකය ගැන අතිමහත් සතුටට පත්ව තමා රචිත සිංහල පිටපත සහිතව සංස්‌කෘත කවිපෙළක්‌ද සමඟ ලිපියක්‌ ආර්නෝල්ඩ්තුමා වෙත යවන ලදී.

එම ලිපියට ප්‍රතිචාර දැක්‌වූ ආර්නෝල්ඩ් ඉංගී්‍රසි බසින් 1881 මැයි මස 30 වැනි දින පිළිතුරක්‌ එවමින් තමා සහ ඒ හිමියන් අතර සම අභිලාෂයක්‌ ඇති බැව්ද තමාට ශ්‍රී ලංකාවේ බෞද්ධ තත්ත්වය ගැන දන්වා එවන ලෙසද දැන්වීය.

මේ අනුව කුළුපග මිත්‍රත්වයක්‌ දෙදෙනා අතර ගොඩනැංවුණු අතර ලිපි හුවමාරුවක්‌ද සිදුකැරිණි.

ශ්‍රීමත් ආර්නෝල්ඩ් ඉන්දියාවට නැවත පැමිණ මදුරාසියේ සිට 1886 ජනවාරි මස 23 වැනි දින ශ්‍රී සුමංගල නාහිමියන්ට තමා සාරානාත්, බුද්ධගයාව හා අනිකුත් බොදුබිම්, දැක බලාගත් බවත්, තමා ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය පසුව දන්වන බවත් ලිපියකින් දන්වන ලදී.

පසුව එතුමා ශ්‍රී ලංකාවට සැපත්ව කොළඹ ගාලුමුවදොර හෝටලයේ සිට 1886 ජනවාරි 30 වැනි දින උන්වහන්සේට ලිපියක්‌ යවමින් තමා පානදුරයට සඳුදා පෙරවරු 8.46 ට ළඟාවෙන දුම්රියෙන් එහි පැමිණෙන බැව් දන්වන ලදී.

වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝ යුහුසුළුව පානදුර නගරයේ ඇති රන්කොත් විහාර ධර්ම ශාලාවේ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා පිළිගැනීමට උත්සවයක්‌ සූදානම් කළහ.

එම උත්සවයට එවකට විසි දෙවැනි වියේ වූ අනගාරික ධර්මපාලතුමාටද ආරාධනය කරන ලදී.

ගිහි ජීවිතයේ දොන් ඩේවිඩ් හේවා විතාරණ නම් වූ එතුමා මාතර හිත්තැටියේ ජන්ම ලාභය ලත් කොළඹ තම ව්‍යාපාරය පවත්වාගෙන ගිය හේවාවිතාරණ දොන් කරෝලිස්‌තුමාගේ හා මල්ලිකා විජයගුණරත්න මැතිනියගේ පුත්‍රයා ලෙස උපත ලැබූහ. කොළඹ මෝදර ශාන්ත තෝමස්‌ විද්‍යාලයේද කෝට්‌ටේ ක්‍රිස්‌තියානි විද්‍යාලයේද අධ්‍යාපනය ලබා කලක්‌ ලිපිකරුවෙකු වශයෙන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සේවය කර ඉන් ඉවත්ව අනගාරික ජීවිතයක්‌ ඇරඹීමේදී ඔහු තෝරාගත් නාමය වූ ධර්මපාල නාමය උචිතයෑයි අනුමත කළේ වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණෝය. එබැවින් කිට්‌ටු ඇසුරක්‌ද පැවතුණි.

එම උත්සව සභාව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමා අමතමින්, ‘බුද්ධගයාව හා සාරානාත් හින්දු ග්‍රහණයෙන් මුදවාගෙන බෞද්ධ පාලනයට නතුකර ගැනීමට කල් යල් උදාවී ඇති බැව්ද, මෙහිලා ශ්‍රී ලංකා බෞද්ධයන් පෙරමුණ ගත යුතු බැව්ද අවධාරණය කළේය.

තවද පානදුරේදී ශ්‍රී සුමංගල හිමියන් බැහැදැකීම පිළිබඳ ශ්‍රීමත් ආර්නෝල්ඩ්තුමා එංගලන්තයට නැවත පැමිණීමෙන් පසු දීර්ඝ ලිපියක්‌ සිය ඩේලි ටෙලිග්‍රාප් පුවත්පතේ පළ කරන ලදී.

පානදුරදී එතුමා කළ දේශනය අනගාරික ධර්මපාලතුමාට සිය ජීවිතය බුද්ධගයා අරගලය සඳහා කැප කිරීමට අදිටන් කර ගැනීමට අවස්‌ථාව විය.

ආර්නෝල්ඩ් තුමා කළ දේශනය ඇතුළත් කර අනගාරික ධර්මපාල තුමා පළ කළ ඉංගී්‍රසි භාෂාමය ග්‍රන්ථයක්‌ වූ ‘’ The History of the
Maha – Bodhi Temple at Buddha Gaya’ හි එකතු කිරීමක්‌ ලෙස පළ කළ ලිපියේ සිංහල අනුවාදය මෙසේය.

‘ශ්‍රීමත් ආර්නෝල්ඩ් මැතිතුමා මෙසේ ප්‍ර කාශ කරන ලදී.’ එදින හිරු රැසින් වෙළීගත් එම පානදුර විහාර අංගනයේදී මා ඉදිරිපත් කළ අදහස සුළඟේ සැලෙන තල්ගස්‌ මධ්‍යයේ මුල් බැසගෙන අතුපත් විසිරීගිය අවස්‌ථාවක්‌ මෙයට පෙර නොවූ බැව් මා සිතමි.

එම ඝර්මකලාපීය නිතරම වැවෙන සුළු හා එම වැවීම ද දෘෂ්‍යමාන වන රුක්‌ෂය හා පැළෑටිමෙන් යෝජනාව ඉතා ඉක්‌මනින් විශ්ව ප්‍රබෝධයක්‌ විය. පළමුව ශ්‍රී ලංකාවේ ද ඉන් ඉක්‌බිතිව වෙනත් බෞද්ධ ප්‍රදේශවලද ‘බෞද්ධ ලෝකය නිතැතින්ම තමන්ගේ ආගමේ අති පූජනීය වූ මෙම ස්‌ථානය අමතක කර ඇත. මෙම ස්‌ථාන මක්‌කම, ජෙරුසලම මෙන්ම නැගෙනහිර ලෝකයේ ආගමික ජනතාවගේ පූජනීය වූ ස්‌ථානයන් වන්නේමය.

අවුරුදු කිහිපයකට පෙරාතුව මා බුද්ධගයාවට පැමිණි අවස්‌ථාවේ මහාරාෂ්ට්‍රයේ ගොවිජනතාව මෙවැනි අති පූජනීය ස්‌ථානයක සත්ත්ව බිලි පූජාව සිදුකිරීම දැක අතිමහත් චිත්ත පීඩනයකට පත් වීමි.

තවද ඓතිහාසික දෑද සංස්‌කෘත සෙල්ලිපි සහිත ගල්ද ස්‌ථානය පුරා දහස්‌ ගණනින් විසිරී පැතිරී තිබුණි.

මම එහි සිටි හින්දු පූජකයාගෙන් (මහන්තා) මෙම අති පූජනීය බෝධි වෘක්‍ෂයෙන් පත්‍රයක්‌ කඩා ගන්නදැයි විමසූ විට ඔහු කීවේ ‘ සභිවේ (මහත්මයා) ඔබට ඕනෑ තරම් කඩා ගන්න, අපට එවා කිසිම වැදගැම්මක්‌ නැත ‘ යනුවෙනි. ‘ මෙම නොසැලකිලිමත්කම ගැන ලඡ්ජාවට පත්වූවා .

ඔහු විසින් පැත්තට අදින ලද අත්තකින් තද හරිත වර්ණයෙන් දීප්තිමත් පත්‍ර දෙක තුනක්‌ කඩාගතිමි. එම පත්‍ර වල සංස්‌කෘත පූජනීය වාක්‍ය ඛණ්‌ඩය වන ‘ඕම් මුනි පද්මේ හුම් ‘ (මුනිවරයාගේ පාදය වන්දනා කරමි) එම පත්‍ර වල ලියා එම පත්‍ර ශ්‍රී ලංකාවට ගෙන ගියෙමි. ශ්‍රී ලංකාවේ දී එම බෝධි පත්‍ර සිංහල බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවාදරයට පත්විය.

තවද මවිසින් මහනුවර ශ්‍රී දළදා මාලිගයට පූජා කළ බෝධි පත්‍රය අගනා ලෝහ කරඬුවක තැන්පත් කළ අතර, එය සතිපතා පැවැත්වෙන පූජාවල ප්‍රමුඛ ස්‌ථානයක්‌ ගත් බැව්, විශේෂයෙන් පානදුර භික්‌ෂූන්ටද, විශේෂයෙන් මාගේ මිත්‍ර වැලිගම නා හිමියන් හා කළ සාකච්ඡාවලදී දැන ගතිමි.

මම එහිදී යෝජනා කළේ බුද්ධගයා විහාරයද එයට අයත් අනිකුත් දේපොල ද හින්දු බලධාරීන් සමඟ මිත්‍රත්වයෙන් සාකච්ඡා කර රැජිනගේ රජයේ අනුග්‍රහයෙන්, බෞද්ධ ජනතාවගේ නියෝජිතයන් සහිත කමිටුවකට බුද්ධගයා පාලනය පැවරීම පිළිබඳවය.

මේ අනුව ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමාගේ යෝජනාව ගැන පානදුර රන්කොත් විහාර භූමියේ පැවැති එම උත්සවයට සහභාගිව අනගාරික ධර්මපාලතුමා ආර්නෝල්ඩ් තුමා සමඟ ක්‌ෂණිකව සාකච්ඡා කර එම භාරදූර කාර්යය තමා භාරගන්නා බැව් පවසන ලදී.

ආර්නෝල්ඩ් තුමා එංගලන්තයට නැවත යැමෙන් පසුව සිය පුවත්පතෙහි බුද්ධගයාව බෞද්ධ පාලනයට නතු කළ යුතු බවට දීර්ඝ වශයෙන් ලිපි පළකරන ලදී.

තවද ඔහු අනගාරික ධර්මපාලතුමාට බුද්ධගයාවට යන මෙන්ද දැඩිව ඉල්ලා සිටින ලදී. අනගාරික ධර්මපාලතුමා තායිලන්තයේ පුවත්පතේ ලිපියක්‌ පළකරමින් මෙසේ පවසන ලදී.

‘ බෞද්ධයන්ගේ ජෙරුසලම වූ බුද්ධගයාව බෞද්ධ පාලනයට නැවත පැවරීමේ අදහස ඉදිරිපත් කළේ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ් තුමාය.

අනගාරික ධර්මපාලතුමා යුහුසුළුව 1891 දී කොළඹ විෙද්‍යාදය පිරිවෙන මූලස්‌ථානය කරගෙන පරිවේණාධිපති අතිපූජ්‍ය ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය උපාධ්‍යාය හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ (1826 – 1911 ) සභාපති වශයෙන්ද තමා ලේකම් වශයෙන්ද මහාබෝධි සමිතිය අරඹන ලදී.

හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමියන්ගේ ඇසුරට අනගාරික ධර්මපාලතුමා පත් වූයේ ළදරු කාලයේදීමය.

ශ්‍රී සුමංගල හිමියන්ගේ සභාපතිත්වයෙන් විද්‍යාධාර සභාව නමින් සංවිධානයක්‌ විෙද්‍යාදය පිරිවෙන පිහිටුවීමට අරඹා 1864 දී එම කාර්ය සඳහා ප්‍රධාන දායකයන් වූයේ අනගාරික ධර්මපාලතුමාගේ පියා වන එච්.දොන් කරෝලිස්‌ තුමාද, දොන් පිලිප් ද සිල්වා, ඈපා අප්පුහාමි සහ දොන් මේලන් වික්‍රමතිලක අප්පුහාමි වෙති. විදෙHdදය පිරිවෙන හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන්ගේ ආධිපත්‍යය යටතේ පිහිටුවන ලදී.

ශ්‍රී සුමංගල නා හිමිපාණන් බෞද්ධ කටයුතු වලට අවශ්‍ය මුදල් ආධාර ගැන සාකච්ඡා කිරීමට හේවාවිතාරණ මහතාගේ නිවසට වැඩම කළ බැවින් ළදරු සමයේ සිට අනගාරික ධර්මපාලතුමා (දොන් ඩේවිඩ් හේවාවිතාරණ) හික්‌කඩුවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් ගේ ඇසුරට හා මඟ පෙන්වීමට යොමු විය.

ධර්මපාලතුමා 1891 දී බුද්ධගයාවට ගොස්‌ ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා විස්‌තර කළ ශෝචනීය තත්ත්වය සියෑසින් දැක, ශ්‍රී මහා බෝධි පාමුල නළල තබා, සිය ජීවිතය බුද්ධගයාව බේරා ගැනීමට පුදන බවට අධිෂ්ඨාන කළේය.

පසුව මහාබෝධි සමිතියේ කාර්යයන් පහසු ලෙස ක්‍රියාත්මක කිරීමට සමිතියේ මූලස්‌ථානය කල්කටා නගරයට ගෙනයන ලද අතර එහිදී එහි සභාපති වශයෙන් කල්කටා විශ්වවිද්‍යාලයේ කුලපති ශ්‍රීමත් අශුමෝස්‌ මුකර්ජි තුමා සභාපති වශයෙන්ද එතුමා ලේකම් වශයෙන් ද ක්‍රියාකාරී විය. පසුව 1891 දී අනගාරික ධර්මපාලතුමාට ආරාධනයක්‌ ලැබී ඇමරිකා එක්‌සත් ජනපදයේ චිකාගෝ නුවර පැවැති ආගම් පාර්ලිමේන්තු සැසියට සහභාගි වී බුදුදහම අළලා බුද්ධගයාව පත්ව ඇති ශෝචනීය තත්ත්වය පැහැදිලි කරමින් දේශන දෙකක්‌ ධර්මපාලතුමා විසින් පවත්වන ලදී. එතුමාගේ ඉංගී්‍රසි භාෂාමය කථිකත්වය, කරුණු ඉදිරිපත් කිරීම සහ දේහ විලාශය, ඇඳුම් විලාශය ගැන සෙසු සාමාජික පිරිස්‌ අතිමහත් ප්‍රීතියට පත් වූහ.

බොදුදහම ගැන පළමු වරට ඇමරිකාවේදී හඬක්‌ නැඟීමේ ගෞරවය ධර්මපාලතුමාට හිමි වන අතර, පසු කාලීනව ඇමරිකාවේ බෞද්ධ කටයුතු සඳහා අමරිකානු මහාචාර්ය පෝල් කාරුස්‌, බොනී, ඊ. සීහෙග්ලර් යන මහත්වරුන්ගේ ආරාධනය පරිදි ධර්මපාලතුමා දෙවැනි වරට ඇමරිකාවට ගියේ ය. ඔහු මුද්‍රණාලයක්‌ ආරම්භ කළ අයෙකි.

1891 අගෝස්‌තු මාසයේ ඇමරිකාවේ සිට නැවත ඉන්දියාවට ධර්මපාලතුමා පැසිපික්‌ සමුද්‍රය ඔස්‌සේ තරණය කරන විට නෞකාව දින කිහිපයකට හවායි දූපත්වල හොනලුලූ වරායේ නවත්වන ලදී. අනගාරික ධර්මපාලතුමා චිකාගෝ නුවර ආගම් පාර්ලිමේන්තුවේ කළ දේශන විශාල වශයෙන් අගයමින් පුවත්පත්වල ලිපි පළ වූ අතර එම පුවත්පත් වාර්තා කියවූ හවායි රජ පවුලේ මේරි එළිසබත් පොස්‌ටර් මැතිනිය, ධර්මපාල තුමා බැහැදැකීමට නෞකාවට සැපත්ව මෙසේ පැවසුවා ය. ‘මා දරුණු රෝගයකින් පසුවෙමි. එම රෝගය නම් නිතර කිපෙන බවය.

මෙය ඔබතුමාට සනීප කර දිය හැකිද?’ ඔව් ඔව් මට කළ හැකි ය. මා මේ ලියා දෙන වාක්‍ය දෙක නිතරම මුමුණමින් සිට දෙවැනි ප්‍රතිකර්මය සඳහා නැවත පැමිණෙන්න. ධර්මපාලතුමා මෙලෙස ඉංගී්‍රසියෙන් ලියා දෙන ලදී. (මා තරහ නොගනිමි, මම සාමකාමී පුද්ගලයෙක්‌ වෙමි)

ඒ අනුව ක්‍රිsයාකළ පොස්‌ටර් මැතිනිය නැවත දින තුනකට පසු අනගාරික ධර්මපාලතුමා වෙත පැමිණ තමා රෝගයෙන් දැන් සම්පූර්ණ සුවය ලබා ඇතැයි පැවසුවා ය. පසුව එතුමිය බරණැස සාරානාත්හි නව මූලගන්ධකුටි විහාරය, බුද්ධගයාවේ මහාබෝධි සමිති ශාලාව හා වෙනත් බෞද්ධ ආයතන, එනම් බුද්ධගයාවේ සහ බුද්ධගයාවේ නිදහස්‌ ඉංගී්‍රසි පාසල් ආරම්භ කිරීමට ඩොලර් මිලියන ගණනින් එතුමිය නිතර ධර්මපාලතුමාට ආධාර කරන ලදී. එතුමියගේ ධන පරිත්‍යාගයකින් කොළඹ මරදානේ පොස්‌ටර් පටු මඟේ නිදහස්‌a ශාලාවක්‌ විවෘත කළේය.

1893 අගෝස්‌තු මස ධර්මපාල තුමා චිකාගෝ සිට ආපසු ඉන්දියාවට පැමිණෙන විට ලාඕසයට ළඟා විය. එහිදී ශ්‍රීමත් එඩ්වින් ආර්නෝල්ඩ්තුමා ඔහු හමු වී ඔහු කැටුව ඉන්දීය රාජ්‍ය ලේකම් කිම්බර්ලි සාමිවරයා (Eaරඑ) වෙත ගොස්‌ බුද්ධගයාවේ ප්‍රශ්නය ගැන කරුණු ඉදිරිපත් කරන ලදී. මෙහිදී ලැබුණු ප්‍රතිචාරය ආර්නෝල්ඩ් සිය දින පොතෙහි සටහන් කරන ලදී.

අනගාරික ධර්මපාලතුමාට එම ගමනේ දී ජපාන බෞද්ධයින් බුදුපිළිමයක්‌ පූජා කරන ලදී. එය රැගෙනැවිත් බුද්ධගයාවේ මහා විහාරයේ දෙවැනි මහලේ තැන්පත් කිරීමට ධර්මපාලතුමා ක්‍රියාකළ අවස්‌ථාවේ ‘මහන්තා’ දාමරිකයන් ලවා ධර්මපාලතුමාට ලේ වැගිරෙන ලෙස පහරදී පිළිම වහන්සේ විසිකර දමන ලදී. ධර්මපාලතුමා පිළිමය රැගෙන බුරුම විහාරයේ තැන්පත් කරන ලදී.

අනගාරික ධර්මපාලතුමා දියත් කළ මෙම දුෂ්කර ක්‍රියාවලියට අත හිත දීමට දුනුවිල චන්දජෝති, මාතලේ සුමංගල, අනුරාධපුර පේමානන්ද සහ ගාල්ලේ සුදස්‌සන යන හිමිවරු ජීවිතය පරදුවට තබා බුද්ධගයාවට 1891 ජූලි මස වැඩම කර බුරුම විහාරයේ වැඩ සිටිමින් ධර්මපාලතුමාට උපකාර කරන ලදී. එවිට ‘මහන්තා’ දාමරිකයන් යොදා ලේ හැලෙනතෙක්‌ ගාල්ලේ සුදස්‌සන සහ අනුරාධපුර පේමානන්ද හිමිවරුන්ට පහර දෙන ලදී. මෙය සිදුවූයේ 1893 පෙබරවාරි මසදීය. ධර්මපාලතුමාට පහර දුන්නේ 1895 දී ය.

තවද හින්දු සංවිධානයක්‌ වූ මහන්තාද ධර්මපාලතුමා බුද්ධගයාවෙන් නෙරපා දැමීමට ක්‍රියාකළේ ය.

එනමුත් අභීත රුහුණු පුත්‍රයකු වූ අනගාරික ධර්මපාලතුමා ඉදිරියටම තම කටයුතු ගෙන ගියේ ය.

දූරදර්ශී ධර්මපාලතුමා බ්‍රිතාන්‍ය රජයෙන් බුද්ධගයා මහා විහාරය අසල මංසන්ධිය ඉදිරි පස ඉඩමක්‌ මිලයට ගෙන එහි බුද්ධගයා මහා බෝධි සමිතියේ මූලස්‌ථානය ඉදි කළහ. මෙම ගොඩනැඟිල්ල හින්දුන්ගේ ප්‍රහාරවලින් වළකා ගැනීමට ගෘහ නිර්මාණය අලංකාරය සඳහා විශාල ශාලාවක්‌ ද ශාලාව දෙපස විවෘත ආලින්දද සහිතව, බිත්තිවල ගඩොලින්ම ආලෝකය හා වාතාශ්‍රයට විවර සහිතව, තනන ලදී. මෙසේ කළේ එවිට බ්‍රිතාන්‍ය පාලකයන් එම ගොඩනැඟිල්ල ආරක්‌ෂා කිරීමට ක්‍රියාකරන බවත්, හින්දුන්ට එවිට ගොඩනැඟිල්ලට අලාභහානි කිරීමට නොහැකි බැව් ද පසක්‌ කර ගනිමිනි.

එහි ධර්මපාලතුමා නිදහස්‌ ඉංගී්‍රසි, හින්දු, භාෂා විදුහලක්‌ ද ආරම්භ කරන ලදී. මෙම ගෘහ නිර්මාණ ශිල්පය අද ද දැකිය හැකි ය. මහන්තා 1906 දී ධර්මපාලතුමා බුද්ධගයාවෙන් ඉවත් කිරීමට ගයා අධිකරණයේ නඩුවක්‌ පැවරූ අතර ධර්මපාලතුමාද ප්‍රතිවිරුද්ධ නඩුවක්‌ පවරන ලදී. මෙය හින්දු, බෞද්ධ ආගම් අරගලයකට තුඩුදෙන බැවින් අධිකරණය මහන්තාට පක්‌ෂව තීන්දුවක්‌ දෙන ලදී. ධර්මපාලතුමාගේ අභියාචනා නඩුව ගැන අධිකරණය කිසිදු තීරණයක්‌ නොදුන්හ.

අනගාරික ධර්මපාලතුමා මිලයට ගත් බරණැස සාරානාත් පුදබිම උතුරු කොටසේ භූමියේ නව මූලගන්ධකුටි විහාරය තනා, එහි බිත්තිවල බුද්ධ චරිත චිත්‍ර එකල සිටි ජපානයේ සුප්‍රසිද්ධ චිත්‍ර ශිල්පී කොඑට්‌සූ නෝසි (Koetsu Nosi) ලවා චිත්‍ර සකස්‌ කරවා විහාරය 1931 නොවැම්බර් මස 11 වැනි දින එකල ඉන්දියානු කොන්ග්‍රසයේ Indian Congress ලේඛකාධිකාරී ශ්‍රී ජවහර්ලාල් නේරුතුමා (පසුව නිදහස්‌ ඉන්දියාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය) ලවා විවෘත කරන ලදී. මෙම උත්සවයට නේරුතුමාගේ භාර්යාව වූ කමලා මැතිනියද, ඔහුගේ සොහොයුරියන් දෙදෙනා වූ විජය ලක්‍ෂ්මී පණ්‌ඩිත සුබාරු සහභාගි වූවා ය. නේරුතුමා උත්සවයෙන් පසු සාරානාත් කෞතුකාගාරයට ගොස්‌ එහි තැන් පත් කර තිබූ සරානාත් අශෝක කුළුණේ ධර්මචක්‍රය ඉන්දීය ජාතික කොඩිය මැදට යෙදීමටද සිංහ රූප සතරක්‌ ද සහිත සිංහ මූර්තියද ඉන්දීය ජාතික ලාංඡනය වශයෙන් යෙදීමට 1947 ජූලි මස 22 වැනි දින ආචාර්ය රාෙ-න්ද්‍ර ප්‍රසාද් (පසුව පළමු ජනාධිපති) තුමාගේ සභාපතිත්වයෙන් නවදිල්ලි වස්‌ථාදායක ශාලාවේ රැස්‌ වූ ව්‍යස්‌ථාදායක සභාවට දීර්ඝ දේශනයක්‌ කරමින් ඒකඡන්දයෙන් මෙම ජාතික සලකුණු පිළිගන්නා ලදී. පසුව 1932 දී තක්‌ෂිලා සහ මිර්පුර, කාස්‌ සින්ඩි හි කැණීම් වලින් ලැබුණු භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී ධාතූන් වහන්සේලා ධර්මපාලතුමාට පුරාවිද්‍යා අධිකාරිය භාරදෙන ලද අතර එම ධාතූන් වහන්සේලා ද නව මූලගන්ධකුටි විහාරයේ වඩා හිඳුවන ලදී.

බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා 69 වියට පත්ව පසුව ශ්‍රී දේවමිත්ත වශයෙන් පැවිදිව ඉන්පසු උපසම්පදාවද ලබා 1931 අප්‍රේල් මස 29 දින අපවත් වී වදාළ සේක.

ආදාහනය සාරානාත්හි සිදුකරන ලදී. බුද්ධගයා ප්‍රශ්නය ධර්මපාලතුමාගේ ජීවිත කාලයේ දී නොවිසඳුණි.

1947 ඉන්දියාව නිදහස්‌ රාජ්‍යයක්‌ වූ අතර බිහාර් ප්‍රාන්ත පාලනය බුද්ධගයා පාලන ආඥා පනත සම්මත කර එමගින් හින්දුන් සතර දෙනෙක්‌ ද, බෞද්ධයන් සතර දෙනෙක්‌ ද සහිත ගයා දිස්‌ත්‍රික්‌කයේ ආදායම් පාලක (Gaya Collector) සභාපති වශයෙන් නිර්මාණය කර එම ආඥා පනත 1948 සිට මේ දක්‌වා ක්‍රියාත්මක වේ.

රොහාන් එල්. ජයතිලක