බෞද්ධාගමට නිගාවෙන ලෙස හැසිරුණොත් එවෙලේම අත්අඩංගුවට

බෞද්ධාගමට නිගාවෙන ලෙස හැසිරුණොත් එවෙලේම අත්අඩංගුවට

SHARE

කොළඹ වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන අයට හිරිහැර වන ආකාරයෙන් හැසිරෙන හා බෞද්ධාගමට නිගාවන ආකාරයේ විකෘති වෙස්‌ මුහුණු පැලඳගෙන මහමඟ ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව කොළඹ දිසා භාර සහ රථවාහන භාර නියෝජ්‍ය පොලිස්‌පති ලලිත් පතිනායක මහතා ඊයේ (24 වැනිදා) පැවසීය.

මීට අමතරව මත්පැන් පානය කර වෙසක්‌ සිරි නැරඹීමට පැමිණෙන බීමත් රියෑදුරන් ද වෙසක්‌ සමය තුළ අත්අඩංගුවට ගන්නා බව ද ඒ මහතා කීය.

ඒ සඳහා අවශ්‍ය බැලුන් 80,000 කට වැඩි ප්‍රමාණයක්‌ දිවයිනේ සියලු පොලිස්‌ ස්‌ථානවලට භාරදී ඇතැයි ද හෙතෙම කියා සිටියේ ය.

මෙහිදී තවදුරටත් කතා කළ නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙසේ ද කීය,

“වෙසක්‌ සමය තුළ කොළඹ නගරයට බොහෝ ජනතාවක්‌ ඇදී එනවා වෙසක්‌ සිරි බලන්න. මේ අයට හිරිහැර වන ආකාරයට හැසිරෙන පුද්ගලයන් අපි අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්නවා. ඒ වගේම බෞද්ධාගමට අගෞරවයක්‌ වන විදියේ විකෘති වෙස්‌ මුහුණු පැලඳගෙන මහමඟ ගමන් කරන අයව පීඩාවට පත් කරනවා නම් අපි ඒ අයවත් අත්අඩංගුවට අරන් නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ වගේම මහ පාරේ ඔලු බක්‌කන් නටවනවා නම් ඒ අයටත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. ඒ වගේම අධික ශබ්දයෙන් නලා පිඹිනවා නම් ඒ අයටත් අපි නීතිය ක්‍රියාත්මක කරනවා. මේ ගැන සැලකිලිමත්ව කටයුතු කරන්න කියලා අපි හැමදෙනාගෙන්ම ඉල්ලා සිටිනවා”.