වෙසක් පෝය දිනයේදීත් බැඩ්මින්ටන් සංගමය සෙල්ලම් කරති

වෙසක් පෝය දිනයේදීත් බැඩ්මින්ටන් සංගමය සෙල්ලම් කරති

SHARE

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ අධීක්‍ෂණය යටතේ මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය පසුගිය 24දා සිට 30 වැනිදා දක්වා පවත්වනු ලැබූ නුවරඑළිය වසන්ත උදාන විවෘත බැඩ්මින්ටන් තරගාවලියේ තරග 29දා (වෙසක් පෝය දිනයේදී) නොපැවැත්වෙන බව මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමය නිවේදනය කර තිබුණද වෙසක් පෝය දිනයේදීත් තරග පැවැත්වීම හේතුවෙන් බොහෝ දෙනකුගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති බව වාර්තා වේ.

වෙසක් පෝය දිනයේදී තරග නොපවත්වා එම තරග 30 වැනිදාට පවත්වන බව මධ්‍යම පළාත් බැඩ්මින්ටන් බලධාරීන් පවසා තිබුණද එම දිනයේදී තරග පැවැත්වීම හා ඇතැම් දිනවල මධ්‍යම රාත්‍රි වන තෙක් තරග පැවැත්වීම ක්‍රීඩකයන්ගේ, දෙමාපියන්ගේ හා බොහෝ නිලධාරීන්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. මේ අතර අවුරුදු 13න්, 15න්, 17න්, 19න් පහළ, විවෘත තරග, අවුරුදු 35න්, 40න් හා 50න් ඉහළ යන ප්‍රවීණයන් වෙනුවෙන්ද තරග ඇතුළත් වූ මෙම තරගාවලියේදී අර්ධ අවසන් පූර්ව වටයෙන් පසු ඉදිරි තරග පැවැත්වීමට නොහැකි වී තිබූ අතර, එම තරග සති දෙකක් ඇතුළත නුවරඑළියේදී හෝ කොළඹදී පවත්වන බවද තරග සංවිධායකයන් ක්‍රීඩකයන්ගේ දෙමාපියන්ට දන්වා ඇතැයිද පැවැසේ.

කෙසේ වෙතත් පාසල් දරුවන් සඳහා රාත්‍රියේදී තරග නොපවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නීති සකසා තිබියදීත් දරුවන් මෙවැනි ආකාරයෙන් පීඩාවට ලක්කිරීම කිසිසේත්ම පිළිගත නොහැකි බව පවසන මධ්‍යම පළාත් බැඩ්මින්ටන් සංගමයේ ඇතැම් නිලධාරීන්ද දැඩි කලකිරීමකට පත්ව ඇතැයි දැනගන්නට ඇත.