ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයේ නැට්ටේ එල්ලිලා සිරිකොතේ වළං හෝදනවා

ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයේ නැට්ටේ එල්ලිලා සිරිකොතේ වළං හෝදනවා

SHARE

‘විශ්වාසභංගයත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත අර්බුදයක් මතුව තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කණ්ඩායම් දෙකකට කැඩිල එක කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගැනීමට සූදානම් වන විට තවත් කණ්ඩායමක් එක්සත් ජාතික පක්ෂයේ නැට්ටේ එල්ලිලා සිරිකොතේ වළං හෝදන තත්ත්වයට වැටී ඇතැයි’ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි පියල් නිශාන්ත බේරුවලදී කීවේය.

කළුවාමෝදර පක්ෂ කාර්යාලයේදී සිය පාක්ෂිකයන් අලුත් අවුරුදු තෑගි රැගෙන පැමිණි අවස්ථාවේදී පියල් නිශාන්ත මහතා මේ අදහස් ප්‍රකාශ කෙළේය.
සිරිකොතේ වළං හෝදන්න යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරු ගැන ජනතාවට හොඳ අවබෝධයක් තියෙනවා. ඊළඟ ඡන්දයේදී මේ ගොල්ලන් ගෙදරම නතර කරන්න ජනතාව තීරණය ගන්නවා. රටේ ආර්ථික, සමාජ, දේශපාලනික දැවැන්ත කඩා වැටීමකට ලක් වෙන විට ඒක තේරුම් නොගෙන වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් පෙනී සිටින ජනතා නියෝජිතයන්ට කළ යුතු දේ ජනතාව ඊළඟ ඡන්දයේදී සිදුකරන බව පැහැදිලියි.

ආණ්ඩුව කරන බව කියන කැබිනට් සංශෝධන ජනතාව අපේක්ෂා කරන දේවල් නෙවෙයි. සිදුවිය යුත්තේ ආණ්ඩු සංශෝධනයක් මිස කැබිනට් සංශෝධනයක් නෙවෙයි. පසුගිය පළාත් පාලන ඡන්දෙයන් ජනතාව ඒ බව කිව්වා. ආණ්ඩුව තවම ඒක තේරුම් අරගෙන නැහැ. ආණ්ඩුව මොන තරම් පුරසාරම් දෙඩුවත් වැඩක් නැහැ. මේ අපි ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවෙන් අපි ජයග්‍රහණ රැසක් ලබාගත්තා. ආණ්ඩුව දෙකට පැළිල පළුවක් විපක්ෂයට යන්න තරම් විශ්වාසභංගය ප්‍රබල වුණා. එක්සත් ජාතික පක්ෂයේ දෙදරා යෑම, පක්ෂ නායකයාට තිබෙන විරෝධය අළු යට ගිනි වගේ සඟවලා තියල අවශ්‍යම මොහොතේ පුපුරායන සැලැසුම මෙයින් සිදු වෙනවා.

අගමැතිවරයා වරදාන වරප්‍රසාද සහ ඉතාම විශාල ලෙස මුදල් රුපියල් බිලියන ගණනින් මේ සඳහා වැය කළා. ජනතාවගෙන් හොරකම් කළ මුදල් පාර්ලිමේන්තුවේ අවස්ථාවාදී දේශපාලනඥයන්ට ලබාදීලා අගමැති තම විරෝධය රබර් බෝලය දිය යට සඟවන්නා සේ බේරිලා ඉන්නවා. මේ අගමැතිවරයා යටතේ යහපාලන ආණ්ඩුව තවදුරටත් යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා.

මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ආණ්ඩුවේ කොන්ත්‍රාත් එකක් ඉටුකරන තැනට පත් වෙලා තියෙනවා. විපක්ෂ නායකවරයා තමන්ගේ කාර්ය භාරය ඉටු නොකරන විට රටේ ප්‍රජාතන්ත්‍රවාදය, සාධාරණය, යුක්තිය ඉටු නොවීමෙන් සමස්ත ජනතාවට බරපතළ අසාධාරණයක් සිදු වෙනවා. මෙවැනි විපක්ෂ නායකවරයකු පාර්ලිමේන්තුවේ සිටීම වැඩක් නැහැ කියන තැනට ඇවිත් තිබෙනවා.

වරදාන වරප්‍රසාද, රුපියල් බිලියන ගණන් මුදල්වලට ජනතා නියෝජිතයෝ තම වගකීම පාවා දුන්නා. එක්සත් ජාතික පක්ෂයේ රැවටීමට හසු වූ පිරිස යළි රැවටෙන්නෙ නැතිව මේ විශ්වාසභංගයෙන් ආණ්ඩුවට පාඩමක් උගන්වන බව ඉතා පැහැදිලියි.