දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගැටලුවක් නැතැයි ජනපති පැවසුවා

දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගැටලුවක් නැතැයි ජනපති පැවසුවා

SHARE

බන්ධනාගාර ගත කොට සිටින දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් තමාට කිසිදු ගැටලුවක් නොමැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසුවේ යැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා සඳහන් කරයි.

දේශපාලන සිරකරුවකු ලෙස බන්ධනාගාර ගතව සිටින කිලිනොච්චි ප්‍රදේශයේ ආනන්ද සුදාගරන් නමැත්තා නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය මේ වන විට කවර ක්‍රියාමාර්ගයන් ගෙන තිබේදැයි මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.

තමන් දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා සමඟ පසුගියදා 26 වැනිදා දුරකතනයෙන් සාකච්ඡා කළ බවත්, මෙහිදී පොදුවේ දේශපාලන සිරකරුවන් පිළිබඳව ජනාධිපතිවරයා අදහස් දක්වා ඇති බවත් මන්ත්‍රිවරයා සඳහන් කර තිබේ.

බන්ධනාගාරගත කොට සිටින දේශපාලන සිරකරුවන් පොදු සමාව යටතේ නිදහස් කිරීම පිළිබඳව තමාට ගැටලුවක් නොමැති බවද, එහෙත් එම සෑම රැඳවියෙක් පිළිබඳවම තමා වෙන වෙනම වාර්තා ඉල්ලා ඇතත් මෙතෙක් එම වාර්තා තමාට ලැබී නැති බවද ජනාධිපතිවරයා පැවැසුවේ යැයිද මන්ත්‍රිවරයා පවසා ඇත.

2015 වසර වනවිට බන්ධනාගාර ගතකොට ඇති දේශපාලන සිරකරුවන්ගේ නම් හා විස්තර ප්‍රකාශයට පත්කරන ලෙසද මෙහිදී මන්ත්‍රිවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ. එහෙත් ඒ සඳහා ද තමාට අදාළ තොරතුරු ලැබී නොමැති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළැයි සුමන්තිරන් මහතා මාධ්‍ය හමුවේ වැඩිදුරටත් පවසා ඇත.